දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනය සරලව හා විද්‍යාත්මකව අර්ථකථනය කරමින් එමගින් ප්‍රකාශ වන දේව පණිවුඩය පිළිබඳව දැනුවත් වෙමින් දෙවියන් වහන්සේ වෙතට තව තවත් සමීප වීමට ඔබ සැමට සුහද ආරාධනා!
ස්තුතියි
ඔබට ජය
ජේසු පිහිටයි
ධර්මෝපදේශකයා

Ads 468x60px

Tuesday, June 12, 2012

ශුද්ධ බයිබලය හඳුනා ගනිමු

හැඳින්වීම
ශුද්ධ බයිබලය පිළිබඳව ගැඹුරින් දැන ගැනීමට හා එය විද්‍යානුකූලව අධ්‍යයනය කිරීමට කැමැත්තක් දක්වන බොහෝ අය සිටිති. ශුද්ධ බයිබලය පිළිබඳව නිවැරදිව හැදෑරීම සඳහා අත්වැලක් වශයෙන් සරල බයිබල් පාඩම් මාලාවක් ලෙසින් මෙම බ්ලොග් ලිපිය ඔබ හමුවේ තැබේ. මෙම ලිපිය එම ශුද්ධ බයිබල් පාඩම් මාලාවේ පළමු වැනි ලිපිය ය. 






ශුද්ධ බයිබලය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
සෑම ආගමකට ම පූජනීය ග්‍රන්ථයක් ඇත. ශුද්ධ බයිබලය වනාහී, කිතුනු බැතිමතුන්ගේ ශුද්ධ වූ ආගමික ග්‍රන්ථය ය. එහි අඩංගු වන්නේ දෙවියන් වහන්සේ අනාදිමත් කාලයක සිට මිනිසාට අනාවරණය වෙමින් විවිධ සළකුණු හා පුද්ගලයන් මාර්ගයෙන් දේව ජනතාවට දුන් සදාතනික පණිවුඩයත්, මානව ඉතිහාසය තුළට බැස ඔවුන් වහන්සේ ක්‍රියා කළ ආකාරයත් පිළිබඳ දේවධාර්මික විස්තරයකි. එබැවින් ශුද්ධ බයිබලය යනු දෙවියන් වහන්සේ මිනිස් වර්ගයාට තමන් වහන්සේව හා තමන් වහන්සේගේ ක්‍රියාවන් අනාවරණය කිරීමේ සළකුණකි. 

ශුද්ධ බයිබලය යන වචනය සෑදී ඇත්තේ, "බිබ්ලෝස්" නමැති ග්‍රීක වචනයෙනි. එහි අර්ථය "පොත් සමූහය" හෙවත් "පුස්තකය" යන්න ය. පොදු සම්මතව පිළිගත් ශුද්ධ බයිබලයට පොත් 73 ක් ඇතුළත් ය. ඉන් පුරාණ ගිවිසුමට පොත් 46 ක් ද, නව ගිවිසුම පොත් 27 ක් ද අයත් වේ.[1]  

ශුද්ධ බයිබලයේ සඳහන් වන්නේ දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනය[2] බව කිතුනු අපගේ පිළිගැනීම හා පරම විශ්වාසය ය. මින් අදහස් කරන්නේ, දෙවියන් වහන්සේ ශුද්ධ බයිබලය තුළ ඇති දිව්‍යමය පණිවුඩය හා එහි අන්තර්ගතය දෙවියන් වහන්සේගේ වීමත්, ඔවුන් වහන්සේ එහි ප්‍රධාන කතුවරයාණන් වීමත් ය. එහෙත් දෙවියන් වහන්සේ එය ස්වර්ගයේ සිට රචනා කළේ නැත. එය ලියවුණේ මනුෂ්‍යයා අතිනි. එනිසා එය තුළ මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයක් ඇත. දෙවියන් වහන්සේ අනාදිමත් කලක සිට මිනිස් වර්ගයාට කළ අනාවරණය ප්‍රථමයෙන් මිනිසා කටපාඩමින් මතකයේ තබා ගෙන, ඉතාමත් විශ්වාසනීය අන්දමින් හා ගෞරවාන්විත ලෙස වාචිකව තම පරපුරෙන් පරපුරට එම දේව වචනය බා‍ර දුන්හ. හේබ්‍රෙව් අක්ෂර මාලාව නිර්මාණය වීමෙන් පසුව කට පාඩමින් මතකයේ රඳවා ගෙන තිබූ දේව වචනය ග්‍රන්ථරූඪ කිරීමට පෙළඹුණි.  එම නිසා මනුෂ්‍යයා ශුද්ධ බයිබලයේ උප කතුවරයා ලෙසින් සැලකේ. ‍නමුත් එහි අඩංගු වන්නේ මිනිසාගේ ඉගැන්වීමක් හෝ පණිවුඩයක් නොව, දෙවියන් වහන්සේගේ ම පණිවුඩය හා අනාවරණයන් ය. එබැවින් ශුද්ධ බයිබලයේ ප්‍රධාන කර්තෘත්වය දෙවියන් වහන්සේට හිමි වේ. එසේම, දෙවියන් වහන්සේ එහි ප්‍රධාන කතුවරයා බැවින් ශුද්ධ බයිබලයේ ඇතුළත් වචනය සදාතනික හා දිව්‍යමය වේ. ග්‍රන්ථාරූඪ කිරීමේ දී මිනිසා තමන්ට ආවේනික වූ සංස්කෘතික හා සමාජමය වාතාවරණයක් තුළ තම දෛනික ජීවිතයට සම්බන්ධ දේ ද, ආකල්ප, පිළිගැනීම් හා සම්ප්‍රදායන් ද ඒ සඳහා උපයෝගී කර ගෙන ඇත. එබැවින් ශුද්ධ බයිබලය අධ්‍යයනය කිරීමේ දී එවකට මැද පෙරදිග ලෝකයේ සංස්කෘතික ‍සමාජ දේශපාලන හා ආගමික පසුබිම පිළිබඳවත්, ඉශ්රායෙල් සමාජයේ සිතුම් පැතුම් ආකල්ප පිළිගැනීම් සම්ප්‍රදායන් චාරිත්‍ර හා වාරිත්‍ර පිළිබඳව හොඳින් අවබෝධ කර ගත යුතු ය. එසේම ශුද්ධ බයිබලය විද්‍යා ප්‍රබන්ධයක් නොවන බව ද සිහි තබා ගත යුතු ය.
[ඉදිරියට....]



වැඩිදුර සටහන්
1. රෙපරමාදු විප්ලවයට මග පෑදූ ඔගස්තීනියන් පැවිදි නිකායික පූජකවරයෙකු වූ මාර්ටින් ලූතර්ගේ ශුද්ධ බයිබලය පිළිබඳ ඉගැන්වීම් නිසාවෙන් ශුද්ධ බයිබලයට අයත් පොත් පිළිබඳ මතභේද පැණ නැගිණි. මාර්ටින් ලූතර් ශුද්ධ බයිබලයේ ඇතැම් පොත් වල දේවානුභාවය පිළිබඳව සැක පළ කළේ ය. ඇතැම් කිතුනු සංඝ ශුද්ධ බයිබලයට අයත් නොවන පොත් ද ජනවන්දනා කටයුතු වල දී භාවිතයට ගෙන ඇත. එබැවින් මේ පිළිබඳව බයිබල් විශාරදයන් හා දේවධර්ම විශාරදයන් විවිධ මතවාද ගෙන හැර දැක්වූහ. මාර්ටින් ලූතර් ඇතුළු පිරිස දියත් කළ රෙපරමාදු ආගමික විප්ලවයට පිළිතුරු සෙවීමට ජර්මනියේ ට්‍රෙන්ට් නුවර දී මහා ධර්ම සංඝායනාවක් පැවැත්විණ. ශුද්ධ බයිබලය දේවානුභාවයෙන් ග්‍රන්ථාරූඪ වී ඇති බවත්, එයට පොත් 73 ක් ඇතුළත් බවත් තීරණය වූයේ ක්‍රිස්තු වර්ෂ 1548 දී ආරම්භ කළ මෙම ට්‍රෙන්ට් (ත්‍රිදෙන්තීන) ධර්ම සංඝායනාවේ දී ය.   

2.ශ්‍රී වචනය:- ග්‍රීක දර්ශනයේ "වචනය" යන්න "ලොගොස්" [Logos] යනුවෙන් යෙදේ. මින් අදහස් කරන්නේ, "දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන වචනය" යන්න ය. නැතහොත් දෙවියන් වහන්සේගේ මැදහත්වීමක් ලෙස ය. ජුදා සම්ප්‍රදායේ වචනය යන්න දෙවියන් වහන්සේගේ ප්‍රකාශවීමක් [Divine Manifestation] ලෙසින් දැක්වේ. දේව මැවිල්ල තුළ, දෙවියන් වහන්සේගේ බලවන්ත ක්‍රියා වල, දිවැසිවර කියමන් තුළ, විවිධ ඓතිහාසික සිද්ධි තුළ දෙවියන් වහන්සේගේ අනාවරණය හෙවත් ප්‍රකාශවීම සැඟවී ඇති බව ජුදාවරුන්ගේ පිළිගැනීම ය.